2012/02/13

විජයට පෙර ලක්‌දිව පැවති දියුණු ශිෂ්ටාචාරයේ වතගොත

ලක්‌දිව ඉතිහාස කතාන්දරය පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනතාව දන්නා කරුණු වන්නේ ක්‍රි.පූ. 6 වන සියවසේ දී උතුරු ඉන්දියාවේ සිට මෙරටට සම්ප්‍රාප්ත වූ විජය නම් කුමාරයා විසින් හා ඔහුගේ ඇමැතිවරු විසින් මෙරට ජනපද ඇතිකොට අපේ ශිෂ්ටාචාරය හා ඉතිහාසය ආරම්භ කළ වගයි. මෙය මෙරට විසූ මුල් කාලීන ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන් මෙන්ම මෙරට ශිෂ්ටාචාරය අධ්‍යයනය කළ බටහිර පඬිවරුන්ගේ ද මතය වී තිබිණි. මේ සඳහා ඔවුන්ට ඉතිහාස කරුණු ගෙනහැර පෑමට මහඟු පිටිවහලක්‌ වූයේ ක්‍රි.ව. හතරවන හා පස්‌වන ශතවර්ෂවලදී රචිත දීපවංසය හා මහාවංසය යන මූලාශ්‍ර ග්‍රන්ථ තොරතුරු හා ක්‍රිස්‌තු පූර්ව 3 වන සියවසේ සිට මෙරටින් වාර්තා වන ශිලා ලිපි තොරතුරුවල අන්තර්ගත කරුණුය.


අපේ යටගියාවේ එසේත් නැතහොත් සංස්‌කෘතියේ හෝ ශිෂ්ටාචාරයේ මුල ක්‍රි.පූ. 6 වන සියවසට එහා ගමන් කරන බව ඉතා ප්‍රබල ලෙස පෙන්වා දෙනු ලැබුවේ 1969 වසරින් පසුවය. ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයන් විසින් සිදු කරනු ලැබූ පුරාවිද්‍යාත්මක කැණීම් මගින් හා විදේශීය පුරාවිද්‍යාඥයන් මෙරට දී සිදුකළ පුරාවිද්‍යාත්මක කැණීම් මගින් ක්‍රිස්‌තු පූර්ව 6 වන සියවසේ දී විජය මෙරටට සම්ප්‍රාප්ත වීමට අවුරුදු 500 කලින් එනම් ක්‍රිස්‌තු පූර්ව 1000 (අදින් වසර 3000 කට පෙර) ලංකාවේ පැරැණි ශිෂ්ටාචාරයක සලකුණු සොයා ගැනීමට හැකිවී තිබේ. බුදුන් ලොව පහළ වීමට අවුරුදු හාරසියයකට පෙර මෙරට බිහිවී තිබූ මෙම සංස්‌කෘතිය හා ශිෂ්ටාචාරය පුරාවිද්‍යාඥයන් හඳුන්වා ඇත්තේ යකඩ යුගයේ සංස්‌කෘතිය ලෙසය. (Eaරකහ ෂරදබ Aටැ) එය එසේ නම්කොට ඇත්තේ ගල් ආයුධ පාවිච්චි කොට ජීවත් වූ ජනතාවගේ සංස්‌කෘතියට පසු යකඩ ලෝහය පාවිච්චි කළ ජනතාවක්‌ මෙරට ගල් යුගයෙන් පසුව බිහිවන බැවිනි. මධ්‍යශිලා යුගයේ සිට ශ්‍රී ලංකාවේ විසූ ප්‍රාග් ඓතිහාසික මානවයා කෙළින්ම යකඩ යුගයට පැමිණ තිබෙන බව පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන අතර මෙම යකඩ යුගයේ සංස්‌කෘතිය වඩා ප්‍රචලිත ලෙස හඳුන්වන්නේ පූර්ව ඓතිහාසික සංස්‌කෘතිය (ඡරදඑද Hසිඑදරසජ) වශයෙනි. (පූර්ව ඓතිහාසික අවධිය යනු ලේඛනය ආරම්භ වීමට පූර්ව අවධිය වශයෙන් සැලකේ) පුරාවිද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට ගල් යුගයේ සංස්‌කෘතිය ප්‍රධාන අදියර දෙකකින් පුරා ශිලා හා මධ්‍යශිලා වශයෙන් මෙරට දී ක්‍රියාත්මක වී තිබේ. නව ශිලා යුගයක්‌ මෙරට ස්‌ථාපනය වීමට පෙර යකඩ පාවිච්චි කරන යුගයට ලංකාව ප්‍රවිෂ්ට වන්නේ ඉන්දියාව හා සමග පැවති මූලික සමාජ සංස්‌කෘතික ක්‍රියාවලිය පදනමින් බව දැරණියගල පෙන්වා දෙයි.

1988 අනුරාධපුර ඇතුළුපුර කැණීමේ අවස්‌ථාවක්‌

ඡේතවන ව්‍යාපෘතිය ඇතුළුපුර කැණීමේදී හමුවූ මැටි බඳුන් කැබලි


ආනායිකොඩ්ඩායි,කොල්ලන්කනත්ත,පොම්පරිප්පුව ,ඉබ්බන්කටුව ,කන්තරෝදය ආදී ස්‌ථානවල මැටිබඳුන්වල තිබී හමුවූ සංකේත
ඡේතවන ව්‍යාපෘතිය ඇතුළුපුර කැණීමේදී හමුවූ මැටි බඳුන් කැබලි
යකඩ යුගයේ නිර්මාණය කරනලද කාලරක්‌ත වර්ණ මැටි බඳුනක්‌.
යම්කිසි රටක සංස්‌කෘතියක හෝ ශිෂ්ටාචාරයක හැඩගැසීම උදෙසා තාක්‌ෂණය ප්‍රබල වී ඇති බව පර්යේෂණවලින් තහවුරු වී තිබේ. ගල් යුගයේ ජීවත් වූ මනුෂ්‍යයන් පාෂාණ මෙවලම් පරිහරණයේ දී විවිධ වූ දුෂ්කරතාවලට මුහුණ දුන්හ. විශේෂයෙන්ම ජීවත් වීම සඳහා අවශ්‍ය කරන කටයුතුවලදී පරිසරය සමග සටන්කොට එය ජයගැනීමට තරම් තාක්‌ෂණයක්‌ ගල් යුගයේ මානවයාට නොතිබිණි. ඒ නිසාම එම සමාජයේ අවසාන භාගයේ දී ලෝහ තාක්‌ෂණය හඳුනාගෙන පොළව මතුපිට දැකිය හැකි යපස්‌ සහිත ගල් කුඩුකර උණු කර භාවිත කිරීමේ හැකියාව සොයා ගැනීම තාක්‌ෂණික වශයෙන් මානව සමාජය ලැබූ විශාල ජයක්‌ විය. විශේෂයෙන්ම ලෝහ පරිහරණයත් සමග සමාජ සංවර්ධනයේ වේගවත් ක්‍රියාවලියක්‌ සිදුවීම කැපී පෙනෙන අතර මුල්කාලීනව තඹ, ලෝකඩ ආදී ලෝහද පසුකාලීනව යකඩ සහ වානේ ලෝහද පරිහරණය දැකගත හැකිවීම කැපී පෙනේ. ශ්‍රී ලංකාව ගතහොත් ශ්‍රී ලංකාවේ ගල් යුගයේ සංස්‌කෘතියෙන් අනතුරුව යකඩ යුගයේ සංස්‌කෘතිය ක්‍රි.පූ. 1000 දී එනම්, අදින් වසර 3000 කට පෙරදී කලඑළි බැසීම සමග සංස්‌කෘතිය වේගවත් දියුණුවක්‌ කරා පරිවර්තනය වන ආකාරය පුරාවිද්‍යාත්මක කැණීම් මගින් ලැබී ඇති ද්‍රව්‍යවලින් තහවුරු වේ.

ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික සංස්‌කෘතිය නැතහොත් යකඩ යුගයේ සංස්‌කෘතිය තුළ දැකගත හැකි සුවිශේෂත්වයක්‌ වන්නේ ගල් යුගයේ සංස්‌කෘතියට වඩා ශිෂ්ටාචාරවත් අතින් පොහොසත් වීමයි. ඒ අනුව යකඩ යුගයේ සංස්‌කෘතියේ දැකගත හැකි සුවිශේෂ ලක්‌ෂණ වශයෙන්,

යකඩ, තඹ, රන් ඇතුළු ලෝහ භාවිත කිරීම.

ගැමි ජනපද බිහිකිරීම.

වී ගොවිතැන ඇතුළු කෘෂිකාර්මික කටයුතු ඇරැඹීම.

වනයේ විසූ ගවයා, අශ්වයා ඇතුළු සතුන් හීලෑකර තම කටයුතුවලට යොදා ගැනීම.

අහස්‌ ජලය ගබඩා කිරීම සඳහා මූලික වැව් ඉදිකොට කෘෂිකාර්මික කටයුතුවලදී භාවිතය සඳහා ජලය කළමනාකරණය කිරීම.

මුල්වරට සකපෝරුව භාවිත කරමින් කළු රතු මැටි බඳුන්, රතු මැටි බඳුන්, කළු මැටි බඳුන් ඇතුළු සුවිශේෂ මැටි බඳුන් නිෂ්පාදනය.

පිළිස්‌සීමෙන් පසු මැටි බඳුන්වල කුරුටු සලකුණු යෙදීම.

ඉතා විශාල ගල් සොහොන් ඉදිකර මියගිය අය සඳහා ක්‍රමානුකූල ලෙස අවමඟුල් චාරිත්‍ර පැවැත්වීම.

පබළු නිෂ්පාදනය.

විවිධ ප්‍රදේශවල පවතින ස්‌වභාවික ඛනිජ වර්ග භාවිතයට ගැනීම.

යන කරුණු මෙම සංස්‌කෘතිය විසින් ශ්‍රී ලංකා සමාජයට හඳුන්වා දෙනු ලැබූ නව සංස්‌කෘතික අංග වශයෙන් හැඳින්විය හැක.

යකඩ ලෝහය පරිහරණය කිරීම සම්බන්ධ තාක්‌ෂණය මෙරට ක්‍රි.පූ. 1000 ට පෙර ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික ගල් යුගයේ මිනිසා දැන නොසිටියේය. නමුත් ක්‍රි.පූ. 1200 දී එනම් අදින් වසර 3200 කට පෙර දකුණු ඉන්දියාවේ විසූ මිනිසුන් මෙම තාක්‌ෂණය දැනගෙන සිටි බව මහාචාර්ය රාජන් සහ පොෂෙල් වැනි විද්වතුන් පෙන්වා දී තිබේ. එබැවින් යකඩ යුගයේ තාක්‌ෂණය මෙරට ජීවත් වූ ගල් යුගයේ මිනිසා ලබා ගැනීමේදී එය ස්‌වාධීනව ඔවුන්ගේ සොයා ගැනීමකට වඩා ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරන ලද තාක්‌ෂණයක්‌ වීමට ඉඩකඩ ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ මතය වේ. ඉන්දියාවේ සිට මෙරටට යකඩ තාක්‌ෂණය හඳුන්වා දෙනු ලැබූවද ඉන්පසු පූර්ව ඓතිහාසික සංස්‌කෘතිය වඩා ස්‌වාධීන අනන්‍යතාවක්‌ සහිතව පෝෂණය වී දේශීය සංස්‌කෘතියේ ශිෂ්ටාචාරය සඳහා මඟ සලකුණු සකසා තිබීමද ද කැපී පෙනේ. යකඩ යුගයේ තාක්‌ෂණයේ ආගමනයත් සමගම ගල් යුගයේ දඩයමට තිබූ තැන ක්‍රමයෙන් වියෑකී යන ලදී. ඒ වෙනුවට වගා කටයුතු සඳහා ප්‍රමුඛත්වයක්‌ ලබාදී කටයුතු කළ බවට සාධක අනුරාධපුර ඇතුළුපුර (අනුරාධපුර රාජධානියේ රජවරුන්ගේ පාලන මධ්‍යස්‌ථානය) සිදු කරනු ලැබූ කැණීම් මගින් තහවුරු වේ. ආචාර්ය සිරාන් දැරණියගල විසින් ඇතුළුපුර සිදු කරනු ලැබූ කැණීම්වලදී එහි මතුපිට පොළව මට්‌ටමේ අඩි 30-35 අතර ගැඹුරින් වාර්තා වන රතු දුඹුරු පාංශු කලාපය (Reddසිය ඊරදඅබ Eaරඑය) තුළින් ප්‍රාග් ඓතිහාසික මිනිසා භාවිත කළ ගල් අවි මෙවලම් හමුවූ බව වාර්තා කොට තිබේ. එසේම එම පස්‌ තට්‌ටුව මතින් යකඩ යුගයේ මිනිසුන් විසින් සිය ශිෂ්ටාචාරය ආරම්භ කළ බව පැහැදිලි වන අතර එමගින් ගල් යුගයේ සංස්‌කෘතිය යකඩ තාක්‌ෂණය හඳුන්වාදීම සමග වියෑකී ගිය බව දැරණියගල පෙන්වා දෙයි. ඔහු ප්‍රකාශ කරන ආකාරයට එය විස්‌තර කරනු ලබන්නේ ගල් යුගයේ සිට පිම්මක්‌ යකඩ යුගයට පැනීමක්‌ ලෙසය.

පූර්ව ඓතිහාසික සංස්‌කෘතිය සම්බන්ධව මෙතෙක්‌ සිදුකොට ඇති පර්යේෂණවලට අනුව ශ්‍රී ලංකාව තුළ එම සංස්‌කෘතිය පැවතුණු ජනාවාස ස්‌ථාන 44 ක්‌ මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න විසින් වාර්තා කොට තිබේ. ඒවා පිහිටි ස්‌ථාන වශයෙන් යාපන අර්aධද්වීපය, උතුරුමැද, උතුරු මලය රට, වයඹ, බස්‌නාහිර, නැගෙනහිර, දකුණ යන පළාත්වල පිහිටා තිබෙන බව හඳුනාගෙන තිබේ. ශ්‍රී ලංකාවට වී ගොවිතැන හා මිශ්‍ර භෝග හඳුන්වාදීම ඇතුළු කෘෂිකාර්මික කටයුතු ආරම්භ කරන්නේ මෙම සංස්‌කෘතික පිරිසයි. විශේෂයෙන්ම යකඩ තාක්‌ෂණය හඳුන්වාදීමෙන් අනතුරුව ඉතා පහසුවෙන් ඝන වනාන්තර මෙල්ලකොට කෘෂි කටයුතු සඳහා භූමිය සකස්‌ කිරීමට මිනිසාට හැකිවිය. ඒ අනුව එම යුගය තුළ දී වගා කරන ලද වී විශේෂයක පාෂාණිභූත කොටස්‌ ඇතුළුපුර ජනාවාසයෙන් හඳුනාගෙන තිබෙන අතර එම වී වර්ගය විද්‍යාත්මක නාමකරණයේ දී ඔරිස්‌සා සැටයිවා (ධරසිsa Zaඑසඩ්) වශයෙන් හඳුනාගෙන ඇත. මෙම කෘෂිකාර්මික කටයුතුවලට සමගාමීව හීලෑ කරන සතුන් අතර අශ්වයා හා ගවයා සිටීමද වැදගත් වේ. ක්‍රි.පූ. 900 දී එනම් අදින් වසර 2900 කට පෙර මෙරට ජීවත් වූ මිනිසා අශ්වයා පරිහරණය කර තිබීම අතිශයින් ම වැදගත් වේ. අශ්වයා මෙරටට ආගන්තුක සතෙකු බැවින් එම සතා ඉන්දියාවේ යකඩ යුගයේ සංස්‌කෘතිය හරහා මෙරටට ගෙන එන්නට ඇතැයි විශ්වාස කරනු ලබන්නේ අදින් වසර 3000 කට පෙර අශ්වයා ඉන්දියාවේ ජීවත් වූ බවට සාධක හමුවන බැවිනි.

පූර්ව ඓතිහාසික සංස්‌කෘතියේ තවත් සුවිශේෂ ලක්‌ෂණයක්‌ වන්නේ මුල්වරට ගම් ආරම්භ කිරීමයි. ගල් යුගයේ මිනිසුන් න්‍යෂ්ටික පවුල් ඒකක ලෙස ජීවත් වී වාසස්‌ථාන වශයෙන් ස්‌වභාවික ගල්ලෙන් භාවිත කළද යකඩ යුගයේ මිනිසුන් තමන් විසින්ම නිවාස ආරම්භ කරමින් න්‍යෂ්ටික පවුල් ඒකක ගමක්‌ තුළ ජීවත් වීමේ ක්‍රමවේදයක්‌ හඳුන්වාදී තිබේ. ලංකාවේ යකඩ යුගයේ පැවැති ගැමි ජනපද සඳහා ඉතා වැදගත් උදාහරණ කීපයක්‌ අනුරාධපුර ඇතුළු පුරයෙන් වාර්තා වී ඇත. ආචාර්ය සිරාන් දැරණියගල හා බ්‍රිතාන්‍ය ජාතික රොබින් කනින්හැම් විසින් සිදු කරනු ලැබූ කැණීම්වලදී මුල්වරට යකඩ යුගයේ ජනපද පිළිබඳ අනාවරණය කරගනු ලැබීය. ක්‍රි.පූ. 1000-800 ත් අතර එනම් අදින් වසර 3000 - 2800 ත් අතර කාලයට අයත් පස්‌ තට්‌ටුවලින් කටුමැටි වරිච්චිවලින් තැනූ නිවාස හඳුනාගෙන තිබේ. රවුම් ආකාර හැඩ ගන්නා මෙම නිවාස ඉදිකිරීම සඳහා භාවිත කරනු ලැබූ කණු වළවල් සහ ගෙබිම ගොමමැටි ගෑ බවට සාධක පැවතීම ද ඉතා වැදගත්ය. මෙම නිවාසවල වහලය මැද සිටවන ලද කණුවක්‌ ඔස්‌සේ කේතුකාකාර හැඩයෙන් තිබෙන්නට ඇති බවට අනුමාන කළ හැක්‌කේ මෙවැනි ලක්‌ෂණ සහිත ප්‍රාථමික ගැමි ජනපද අදටත් උතුරු සහ දකුණු ඉන්දියාවේ පවතින සාම්ප්‍රදායික ගම්වල දැකගත හැකි බැවිනි.

ආනායිකොඩ්ඩායි,කොල්ලන්කනත්ත,පොම්පරිප්පුව ,ඉබ්බන්කටුව ,කන්තරෝදය ආදී ස්‌ථානවල මැටිබඳුන්වල තිබී හමුවූ සංකේත

යකඩ යුගයේ නිර්මාණය කරනලද කාලරක්‌ත වර්ණ මැටි බඳුනක්‌.

මේ ආකාරයට ආරම්භ වී පෝෂණය වූ මේ සංස්‌කෘතියේ තවත් සුවිශේෂ ලක්‌ෂණයක්‌ වන්නේ මැටි වළං නිර්මාණය කිරීමයි. ඉතාමත්ම සුවිශේෂ වූ තාක්‌ෂණයකට අනුව නිර්මාණය කරන ලද කළු රතු මැටි බඳුන්, කළු මැටි බඳුන් සකපෝරුව ආශ්‍රය කරගනිමින් නිර්මාණය කිරීම මේ යුගයේ හඳුන්වා දෙනු ලැබීය. ක්‍රි.පූ. 950 සිට ආරම්භ වූ මෙම මැටි මෙවලම් කර්මාන්තය මගින් නිෂ්පාදනය කරන ලද මැටි භාජන අතර මුට්‌ටි, හට්‌ටි, බරණි, තැටි, පාත්‍රා වැනි විවිධ වර්ගවල මැටි බඳුන් දැකගත හැකි වේ. මෙම මැටි බඳුන් නිර්මාණය කර ඇති තාක්‌ෂණය පිළිබඳව පර්යේෂණයක්‌ සිදුකොට ඇති ඉන්දීය පර්යේෂකයන් ඇතුළත කළු සහ පිටත රතු මැටි බ\qන් නිෂ්පාදනයේ දී භාවිතා කොට ඇති තාක්‌ෂණය වශයෙන් පෝස්‌ට්‌ µයරින් ක්‍රමය භාවිතා කර ඇති බව පෙන්වා දී ඇත. ඊට අමතරව තනිකරම රතු සහ තනිකරම කළු මැටි බඳුන් නිෂ්පාදනය කිරීමද මෙහි සුවිශේෂ වේ. මෙම මැටි මෙවලම් නිෂ්පාදන කර්මාන්තය සමග යකඩ යුගයේ සංස්‌කෘතික පිරිස්‌ මෙරටට අක්‌ෂර කලාව හඳුන්වා දුන් බවටද මතයක්‌ ගොඩනැඟී ඇත. මෙම යුගයට අයත් බොහොමයක්‌ මැටි බ\qන්වල විවිධ වූ කුරුටු සංකේත දක්‌නට ලැබීම මගින් ඔවුන් විසින් එමගින් යම්කිසි අදහසක්‌ ප්‍රකාශ කරන්නට ඇතැයි අනුමාන කළ හැක. ආචාර්ය සිරාන් දැරණියගල පෙන්වා දෙන ආකාරයට අනුරාධපුර මහාපාලි දාන ශාලාව අසල කැණීමේදී හමුවූ මුල් බ්‍රාහ්මී අක්‌ෂරවලින් ලියා ඇති බිය අනුරද යන වචනය ක්‍රි.පූ. 600-500 කාලයට අයත් බව එම මැටි බ\qන් කැබැල්ල හමු වු ස්‌ථරය කාල නිර්ණය කිරීමෙන් පැහැදිලි වන බව පෙන්වා දී ඇත. එසේ නම් ශ්‍රී ලංකාවේ ලේඛනයෙහි ආරම්භය ක්‍රි.පූ. 3 වන සියවසේ සිදුවූ බවට පිළිගැනෙන මතය පුරාවිද්‍යාත්මක කරුණුවලට අනුව සනාථ නොවේ. කෙසේ වෙතත් ඉහතින් පෙන්වා දුන් මැටි බඳුන්වල දැකගත හැකි කුරුටු සංකේතවලට සමාන අක්‌ෂර ශ්‍රී ලංකාවේ මුල් බ්‍රාහ්මී ශිලාලිපිවල තිබීමෙන් පැහැදිලි වන්නේ ලංකාවට ලේඛනය හඳුන්වා දෙන්නට ඇත්තේ යකඩ යුගයේ ජනතාව බවයි.

එසේම මෙසේ හමුවූ අක්‌ෂර මගින් විස්‌තර කරන ලද බිය අනුරද නමැති වචනය අනුව ක්‍රි.පූ. 6 වන සියවසේ විජය රජු සමග මෙරටට පැමිණි අනුරාධ ඇමැතිගේ නාමය එයින් ගම්‍ය වන බව දැරණියගල මහතා පෙන්වා දෙයි. ඒ අනුව විජය පැමිණීමේ පුවත ද යම් පමණකට එම කරුණුවලට අනුව සනාථ වෙතත් එම තොරතුරටත් වඩා වැදගත් වන්නේ විජය මෙරටට පැමිණෙන විට ලේඛන කලාව දත් දියුණු සංස්‌කෘතික ලක්‌ෂණවලින් හෙබි ජනතාවක්‌ අනුරාධපුරය ඇතුළු ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශවල ව්‍යාප්තව සිටි බවයි. එසේ නම් ශ්‍රී ලාංකිකයන් ලෙස ආඩම්බර විය හැක්‌කේ අදින් වසර 2600 කට පෙර ලොව අනෙකුත් ජාතීන් පසුගාමී සමාජයක සිටියදී අප ලොව විශිෂ්ට ජාතියක වශයෙන් ගත කළ බව මෙම කරුණු මගින් සනාථ වන බැවිනි.

විකිරණශීලී කාබන් අනුසාරයෙන් සිදුකරන ලද කාල නිගමනවලට අනුව අදින් වසර 2900-2700 ත් අතර කාලයේ දී අනුරාධපුරයේ තිබූ යකඩ යුගයට අයත් මෙම ජනාවාසය හෙක්‌ටයාර් 10 ක ප්‍රමාණයෙන් යුක්‌ත වන්නට ඇතැයි දරණියගල පෙන්වා දී ඇත. එසේම අදින් වසර 2700 - 2600 ත් එනම් ක්‍රි. පූ. 600 - 700 කාලයේ දී එම ජනාවාසය හෙක්‌ටයාර් 50 දක්‌වා ව්‍යාප්ත වූ බව ඔහු පැහැදිලි කර පෙන්වා ඇත. මේ ආකාරයට ඉතා දියුණු ජනාවාසයක්‌ අනුරාධපුර ඇසුරින් ක්‍රියාත්මක වන සමයේ දී එය නාගරික මට්‌ටම දක්‌වා පැමිණ තිබූ බවද පැහැදිලිවේ. පුරාවිද්‍යා කරුණු අනුව නාගරික ශිෂ්ටාචාරයක්‌ වශයෙන් රටක පවතින නගරයක්‌ දියුණුවට පහත සඳහන් වන්නා වූ අංශවල වැඩි බලපෑමක්‌ තිබේ. ඒවා අතර පන්ති සමාජයක්‌, ලේඛන කලාවක්‌. කලා නිර්මාණවල බිහිවීමක්‌, විශේෂ ප්‍රාගුණ්‍යතාවයක්‌ සහිත ශිල්පී පරපුරුවල බිහි වීමක්‌, දුරකතර වෙළෙ¹ම වැනි කරුණු කෙරෙහි නැඹුරු බවක්‌ තිබිය යුතුය. අනුරාධපුරයේ ජනාවාසයේ ක්‍රි. පූ. 600 ට පසු පස්‌ තට්‌ටුවල මෙවැනි ලක්‍ෂණ සහිත පුරාවිද්‍යා සාධක දැකගත හැකි බැවින් නිශ්චිත වශයෙන් ම බුදුන් ලොව පහළ

විජයට පෙර

වන සමය වන විට අනුරාධපුරය නගරයක්‌ ලෙස හැඩ ගැසී තිබුණු බව ඉතාමත් ම පැහැදිලි වේ. මහාවංශ කතුවරයා විසින් විස්‌තර කරනු ලබන ආකාරයට පණ්‌ඩුකාභය අනුරාධපුර නගරය සැකසීම පිළිබඳ විස්‌තරය වඩාත්ම සාධාරණීය නොවන බව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය රචනා කිරීමේදී මෙවැනි තත්ත්වයක්‌ නිර්මාණය කරන්නට ඇත්තේ වඩා කේන්ද්‍රික කරුණ වශයෙන් බෞද්ධාගම සහ රජය අතර දැඩි සහසම්බන්ධතාවය පෙන්වීමේ අරමුණින් විය යුතුය. ලංකාවේ ශිෂ්ටාචාරය නාගරික මට්‌ටම දක්‌වා දියුණු වූයේ අනුරාධපුරයේ පමණක්‌ නොවේ. දකුණේ මාගම ප්‍රදේශයේ ද නාගරික මට්‌ටම ක්‍රි. පූ. 350 - 500 ත් අතර ආරම්භ ව තිබූ බව ආචාර්ය රාඡ් සෝමදේව විසින් එම ප්‍රදේශයේ සිදුකරනු ලැබූ පර්යේෂණවල දී හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ජර්මන් කාවා ආයතනය එම ප්‍රදේශයේ සිදුකරනු ලැබූ කැණීම්වල දී තහවුරු කොට තිබේ. ඔවුහු පෙන්වා දෙන ආකාරයට ක්‍රි. පූ. 900 දී එනම් අදින් වසර 2900 කට පෙර මාගම ග්‍රාමීය ජනාවාස ආරම්භ වී ඒවා ක්‍රමානුකූලව පෝෂණයට පත්ව ක්‍රි. පූ. 500 න් පසු නාගරික මට්‌ටම දක්‌වා පැමිණ ඇති බව පැහැදිලි කොට තිබේ.

පූර්ව ඓතිහාසික සමයේ දී ශ්‍රී ලංකා ජන සමාජයේ සිදු වූ තවත් වැගත් කටයුත්තක්‌ වන්නේ ශ්‍රී ලංකාවේ ස්‌වභාවික පරිසරයේ දැකගත හැකි ස්‌වභාවික සම්පත් පරිහරණ ආරම්භ කිරීමයි. ගල් යුගයේ මිනිසුන් ද දඩයම සහ අභිචාර ක්‍රමයන් සඳහා කහඳ, තිරුවානා, නිල් මැටි, පිඟන් මැටි, තලාතු මිනිරන් මෙන්ම ගුරුගල් වැනි ඛනිජ වර්ග භාවිත කළද ඔවුන්ට මහා පරිමාණ ලෙස ඒවා අත්පත් කර ගැනීමේ තාක්‍ෂණයක්‌ හෝ දැනුමත් නොතිබුණේය. නමුත් යකඩ යුගය තුළ දී ලෝහ තාක්‍ෂණයේ දියුණුව සමඟ මිනිසුන් විසින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල තිබූ ඛනිජ වර්ග සොයාගෙන පරිහරණය කොට තිබේ.

විශේෂයෙන් ම අදින් 2700 ක්‌ පමණ කාලය වනවිට රටේ පැවති සම්පත් පමණක්‌ නොව විදේශීය සම්පත් පරිහරණය සම්බන්ධව ද මෙරට මිනිසුන් දැන සිටි බව ලැබී ඇති පුරාවිද්‍යා දත්ත මගින් පැහැදිලි වේ. ක්‍රි. පූ. 700 ට අයත් දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ දැකගත හැකි පූර්ව ඓතිහාසික යුගයට අයත් ගල් සොහොන් තුළ සිදුකරනු ලැබූ කැණීම්වල දී දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් වැදගත් ඛනිජ වර්ග ගණනාවක්‌ සොයාගෙන තිබේ. ඒවා අතර දේශීයව සම්භවය ලබන ඇමතෙස්‌ත, තලාතු මිනිරන් හා ක්‌වාට්‌ස්‌ වාර්ග ද, ඉන්දියාවේ සම්භවය ලබන කානීලියන් නැමති අර්ධ මාණික්‍යමය ඛනිජ පාෂාණය හමු වී තිබේ. මේ අනුව ඔවුන්ගේ සම්පත් පරිහරණය කිරීම සම්බන්ධව දැනුම එයින් විසඳවන අතර ක්‍රි. පු. 800 වන විට මේ යුගයේ මිනිසුන් නැගෙනහිර පළාතේ සේරුනුවර පිහිටි ස්‌වභාවික ලෝපස්‌ නිධියේ පැවති ලෝපස්‌ පිළිබඳ ව දැනසිටි බව සුදර්ශන් සෙනෙවිරත්න විසින් පෙන්වා දී ඇත. ඔහු විසින් සිදුකරනු ලැබූ අධ්‍යයනයන්ට අනුව සේරුනුවර ලෝපස්‌ නිධියේ ලෝහ ක්‍රි. පූ. 800 න් පසු අනුරාධපුරය හා ලංකාවේ වෙනත් යකඩ යුගයේ ජනාවාසවල භාවිත කොට තිබේ. අනුරාධපුරයේ යකඩ යුගයේ සංස්‌කෘතියට අයත් පස්‌ තට්‌ටුවලින් හමුවන ලෝහ බොර සම්බන්ධව ඔහු විසින් සිදු කරනු ලැබූ සූක්‍ෂම විද්‍යා විශ්ලේෂණයන්ට අනුව පැහැදිලි වී ඇත්තේ එම ලෝහ බොරහි සංයුතිය සමාන වන්නේ සේරුනුවර ලෝපස්‌ නිධියේ ලෝහ පස්‌වලට බවයි. විශේෂයෙන්ම ස්‌වභාවික සම්පත් පරිහරණයේ දී ඔවුන් විසින් ශරීර අලංකරණය සහ අභිචාර කටයුතු සඳහා ඒවා භාවිතා කොට ඇති බව ඛනිජ පාෂාණවලින් සහ ලෝහවලින් නිර්මාණය කරන ලද නිර්මාණවලින් පැහැදිලිවේ.

යකඩ යුගයේ මුල් වකවානුවේ දී මෙම ජනතාව සිය වාසභූමි පිහිටුවා ගනු ලබන්නේ පහත් වියළි තැනිතලා ප්‍රදේශවලයි. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයට හිතකර රතුදුඹුරු පස්‌ මෙම වියළි තැනිතලා ප්‍රදේශවල දැකගත හැකි වීමත්. වර්ෂය පුරා වර්ෂාව නොලැබීම නිසා එඩේර කටයුතු පවත්වා ගැනීමත්, වාර්ෂිකව ම සිදුකළ හැකි බෝග වගාව සඳහා අහස්‌ ජලය ගබඩා කොට තැබීමට අවශ්‍ය භූමි වියළි තැනිතලා ප්‍රදේශවල තිබීම හා මෙම වියළි ප්‍රදේශවල 60% ප්‍රතිශතයෙන් ලෝහ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය හෙමටයිට්‌ හා ලිමොනයිට්‌ යන ඛනිජ ද්‍රව්‍ය ද ඉන්ධන වශයෙන් දැව පාවිච්චි කිරීමට හැකියාව මගින් මෙම මිනිසුන්ගේ එදිනෙදා දෛනික කටයුතු පහසු කරවීම වියළි තැනිතලාවල ස්‌ථානගත වීමට බලපා ඇත. ක්‍රි. ව. පූ. 1000 - 800 ත් අතර කාලයේ කුඩා කුඩා ගම් වශයෙන් ජනාවාස පිහිටුවා ගත් මේ ප්‍රජාව ක්‍රි. පූ. 700 පමණ වනවිට වියළි තැනිතලා ප්‍රදේශවලින් පිට වී කඳුකර කලාප දක්‌වා ව්‍යාප්ත වීම පෙන්වා දිය හැක. මේ සඳහා උදාහරණ වශයෙන් ඉබ්බන්කටුව, ආනකටාව, රොටවැව, කන්දලම, සීගිරිය, ගලේවෙල යන ස්‌ථානවල ජනාවාස පිහිටුවා ගැනීමෙන් පැහැදිලිවේ. මොවුන් විසින් ඉතා සශ්‍රික භූමි පසුකොට ගිරි දුර්ග සහ වන දුර්ගවලින් ගහණ ප්‍රදේශ වෙත සම්ප්‍රාප්ත වනුයේ කෘෂි කාර්මික කටයුතු හෝ එඩේර කටයුතු සඳහා නොව ඛනිජ වර්ග සහ කුළුබඩු ඇතුළු දැ ලබා ගැනීම පිණිස බව ඉතා පැහැදිලි වී ඇත. මෙසේ කඳුකරයේ පහත් බෑවුම් ප්‍රදේශවලට ළඟා වූ මිනිසුන් විසින් එම ප්‍රදේශවල පැවැති තලාතු මිනිරන්, විවිධ මැණික්‌ වර්ග, ලෝහ ද්‍රව්‍ය ඇතුළු ඛණිජ මෙන් ම කුළු බඩු වර්ග ද ඔවුන්ගේ සහෝදර ජනාවාස දක්‌වා බෙදා හැර ඇති බව සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දෙයි. ඔහු පෙන්වා දෙන ආකාරයට ක්‍රි. පූ. 600 ට පසු කාල නිර්ණය වූ අනුරාධපුර ඇතුළුපුර ජනාවාසයේ පස්‌ තට්‌ටුවල ඇමතෙස්‌ත, තිරුවානා, තලාතු මිනිරන්, රබහ වැනි ඛනිජ ද්‍රව්‍යවල විවිධත්වය වැඩි වූ බවට සාධක දැකගත හැක.

මෙවැනි ක්‍රියාවලියක්‌ ජනාවාස අතර සිදුවීමේ දී යම්කිසි යාන්ත්‍රණයක්‌ ඒ සඳහා සැකසී තිබිය යුතු ය. ක්‍රි. පූ. 700 සියවස වනවිට ශ්‍රී ලංකා ජන සමාජයේ පන්ති සමාජයක්‌ නිර්මාණය වී තිබීම මෙවැනි හුවමාරු යාන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක කිරීමට මහඟු පිටුවහලක්‌ ලබා දී තිබේ. ලංකාවේ පැවැති එවැනි පන්ති සමාජයක්‌ පිළිබඳ ඉඟි පුරාවිද්‍යා කැණීම් මගින් හමු වූ ද්‍රව්‍ය වලින් ද පැහැදිලි වී තිබේ. දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ හෙක්‌ටයාර් 10 ක පමණ භූමියක විහිදෙන ගල් සොහොන් අතර එහි මැද දැකගත හැකි සුවිශාල වළලෑමක්‌ තුළ මෙවැනි ලක්‍ෂණ දැකගත හැක. මෙම සොහොනේ අභ්‍යන්තරය තුළ තිබී හමු වූ මිනිසකු විසින් පැළඳි රන් සිරස්‌ පටිය මගින් සහ එම සොහොනේ තිබී හමුවූ අති විශාල ප්‍රමාණයක්‌ අර්ධ මාණික්‍යමය කානීලියන් පබළු මගින් එම සොහොන ප්‍රභූවරයෙකුට අයත් බව තහවුරු කොට තිබේ. එය තවත් තහවුරු වන කරුණක්‌ වූයේ සොහොනේ මතුපිට පියන් ගලේ දැකගත හැකි සුවිශේෂ මෙගලිතික සංකේතය. වේ. ඒ අනුව අදින් වසර 2700 ක්‌ පමණ වනවිට පන්ති සමාජයක්‌ ආරම්භ වී භාණ්‌ඩ හුවමාරුව මෙන්ම මෙරටට පැවති විවිධ සම්පත් අත්පත් කර ගැනීම හා ඒවා පරිහරණය කිරීම සිදුකළ බව තහවරු වේ. එසේම පන්ති සමාජයක්‌ තුළ සුවිශේෂ නිර්මාණ වශයෙන් ලෝහ, මැටි මෙවලම්, පබළු ඇතුළු කර්මාන්තයක්‌ සිදුකිරීම සඳහා ඒ ඒ විෂය සම්බන්ධව විශේෂ ප්‍රාගුණ්‍යතාවයක්‌ සහිත පිරිස්‌ බිහි ව සිටි බවට පැහැදිලිවේ.

මෙම යුගයේ තවත් සුවිශේෂ ලක්‍ෂණයක්‌ වන්නේ සුසාන චාරිත්‍ර මෙරටට හඳුන්වා දීමයි. දැනට වාර්තා කොට ඇති ආකාරයට 40 කට වඩා වැඩි ඉතා විශාල සොහොන් සංකීර්ණ මෙරට පුරාම ව්‍යාප්තව තිබේ. එයින් අති බහුතරයක්‌ සොහොන් වන්නේ ශීලා පුවරු උපයෝගී කොටගෙන නිර්මාණය කර ඇති ශිලා මංජුසා සුසාන වේ. ගල් පුවරු 4 ක්‌ එකිනෙක සම්බන්ධ වන ආකාරයට පෙට්‌ටියක්‌ හැඩයට තබා එම ගල් පෙට්‌ටිය ඇතුළත විශාල මැටි බරණි සහ කුඩා පූජා මුට්‌ටි තැන්පත් කර තිබීම දැකගත හැක. මහාකුම්බය තුළ දැකගත හැකිවන්නේ මස්‌දියවන තෙක්‌ වෙනත් ස්‌ථානයක වළදමා තිබූ මිනිසෙකුගේ ඇටකටු කොටස්‌ නැවත ගෙන එම විශාල මුට්‌ටිය තුළ තැන්පත් කිරීමයි. එසේම එම මිනිසා පරිහරණයකරන ලද ආභරණ , ආයුධ ඇතුළු අනෙකුත් දැ එම සොහොනේ පූජා මුට්‌ටි තුළ තැන්පත් කොට විශාල ගල් පතුරකින් වසා දමා තිබේ. මේවා ගල් සොහොන් වශයෙන් අර්ථ දක්‌වන අතර මෙවැනි ලක්‍ෂණ සහිත සොහොන් ද මේවාට වඩා වෙනස්‌ ලක්‍ෂණ සහිත සොහොන් ද ශ්‍රී ලංකාව පුරා මෙන්ම දකුණු ඉන්දියාව පුරාත් දක්‌නට ලැබීමෙන් පැහැදිලි වන්නේ සමාන සංස්‌කෘතික ලක්‍ෂණ සහිත පිරිස්‌ මේ දෙරටෙහි ජීවත් වූ බවයි. ඒ අනුව දියුණු ශිෂ්ටාචාරයක්‌ සහිත මානව කොටසක්‌ ශ්‍රී ලංකාව තුළ ජීවත් වූ බව මෙයින් පැහැදිලි වෙයි.

ශ්‍රී ලංකාවේ ජල කළමනාකරණ කටයුතු සම්බන්ධ මූලික සාධක අපට හමුවන්නේ ද යකඩ යුගයේ සංස්‌කෘතිය තුළිනි.අනුරාධපුරයේ අභය වැව, තිසා වැව, යාන්ඔය නිම්නයේ පැරණි වැව, ඉබ්බන්කටුව ඉදමොරළුව වැව මේ යුගයේ මිනිසුන් විසින් නිර්මාණය කරනු ලැබූ ඒවාය. අභය වැව හා තිසා වැව පසු කාලීන ව විශාල වූ වැව් ලෙස සැලකෙන අතර වැව ගම පදනම් වූ මෙම ශිෂ්ටාචාරය ක්‍රි. පූ. 3 වන සියවසෙන් පසු වැව, දාගැබ, ගම පදනම් වූ ශිෂ්ඨාචාරයකට පරිවර්තනය වූ බව පැහැදිලි වේ. ඉහතින් පෙන්වා දුන් කරුණු අනුව අප රටේ ශිෂ්ටාචාරයේ හා සංස්‌කෘතියේ වඩා තීරණාත්මක හැඩ ගැසීම ආරම්භ වන්නේ අදින් වසර 3000 කට පෙර බව පැහැදිලි වන අතර වංසකතාව විස්‌තර කරන ආකාරයට අදින් වසර 2600 කට පෙර නොවන බව මේ රටේ පුරාවිද්‍යාඥයන් විසින් විද්‍යාත්මක කාල නිගමන මඟින් මේ වනවිටතහවුරු කොට තිබේ. ඒ අනුව එම කාල පරාසය පුරාවිද්‍යාඥයන් පූර්ව ඓතිහාසික යුගය හෝ යකඩ යුගය වශයෙන් විග්‍රහයකට ලක්‌කොට ඇත.

ඩී. තුසිත මැන්දිස්‌
(උපුටා ගැනීම-http://www.divaina.com/2011/08/10/badada01.html)

No comments:

Post a Comment