2012/02/13

මහාවංශයටම සීමා නොවී එයද තොරතුරු ලද හැකි එක් මූලාශ්‍රයක් පමණක් බව සලකා ඉදිරියට







ගාමිණී අභය මහරජතුමා


කාවන්තිස්ස රජුට දාව විහාර මහා දේවියට උපන් ගැමුණු කුමරු ගාමිණි අභය නම් විය. සිය පියාගේ වචනය වත් නොතකන හේ, රුහුණේ මාගමින් පලා ගොස් සේනා සංවිධානය කොට එවකට 44 වසරක් පුරා අනුරපුරය අගනුවර කොටගෙන රාජ්‍ය කල එළාර නම් සොළී රජු පරදවා නැවතත් සිංහලය එක්සේසත් කරයි. බුදු දහම වෙනුවෙන් අගනා මෙහෙයක් ඉටු කරයි. එසේ වුවත් දුටුගැමුණු කුමරු නිවසින් පිටවන්නේ සිය පියාට කාන්තා ඇඳුම් යවා ඔහුට අපහාස කරමිනි. සටන් කරන කාලයේද සිය සොයුරු සද්ධාතිස්සයන් සමඟ ආරවුල් ඇතිකර ගනී. එමෙන්ම ගැමුණු විසින් පරාජය කරන ලද එළාරත් යුක්තිගරුකය. ඔහු යුක්තිය ඉටු කරනුවස් සීනුවක් එල්ලා තැබූවෙකි. මේ මහාවංශ කතෘ තුමා පරිච්ඡේද 24ක් පුරාවට ගුණ වයන දුටුගැමුණු චරිතයේ සාරාංශයයි.
ඉතිහාසය ගවේෂණයේදී අප හැමවිටම වෙනස්ම මඟක් ගතිමු. මහාවංශයටම සීමා නොවී එයද තොරතුරු ලද හැකි එක් මූලාශ්‍රයක් පමණක් බව සලකා ඉදිරියට ගියෙමු. මේ එම ගමනේදී අපට හමුවුණු ගැමුණු අබා හෙවත් දුටු ගැමුණු රජුගේ කතාන්දරයයි. සැබැවින්ම ඔහු කවුද? යක්ෂ ගෝත්‍රික හෙළයෙක්ද? ආර්‍ය වංශිකයෙක්ද? හුදෙක් සිංහලයෙක්ද යන්න තීරණය කිරීම පාඨක ඔබට භාර කරමු.


දුටුගැමුණු රජු අයත් වන පරපුර ගැන සැලකිලිමත්ව විමසා බැලීම වටී. විහාරමහා දේවිය අයත්වන පරපුර පැවත එන්නේ පනිත රජුගෙනි. ගෞතම බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කරන කාලයේදී ඔහු අනුරාධපුරයේ පාලකයා විය. සුමන රජු කඳුරට පාලනය කලේය. එම පරපුරෙන් පැවතෙන මහතිස (කැළණිතිස්ස) රජු කැළණිය වාසය කොට විසීම හා විහාර මහාදේවිය (අබිසවෙර) නැවක පාකර හැරීම යන පුවත සලකා බලන කල ඔවුන් නාවික කටයුතු වල යෙදුන බව පැහැදිලිය. එමෙන්ම බෝවත්තෙගල සහ කොටාදැවු හෙළ යන ස්ථාන වල ඇති විහාර දේවියගේ සෙල්ලිපි වල නැව් සංකේත දක්නට ලැබේ. ආර්‍යයන් මෙහි එන්නට පෙර විසූ සිව් මහා ගෝත්‍ර වලින් නාවික කටයුතු වල යෙදුනේ නාග ගෝත්‍රිකයන්ය. විහාරමහා දේවිය නාග ගෝත්‍රික බව නිගමනය කල හැකි අතර ඊට රුකුල් දෙන ශිලා ලේඛන මේ වනවිට හමුවී ඇත.

දෙවනපෑතිස් සොයුරු මහානාගද නාග ගෝත්‍රිකයෙක් බව ඇතැමෙක් කියයි. එනමුදු සුමනට සමකාලීන විය හැකි මහානාග ඒ හේතුවෙන්ම බුදුන් වහන්සේටද සමකාළීන හෝ ඊට ආසන්න විය යුතුය. එසේනම් ඔහු දෙවනපෑතිස් සොයුරු විය හැකිද? ගෞතම බුදුන් ලක්දිවට වැඩම කරන කල ලක්දිව ප්‍රාදේශිය පාලකවරු 13 දෙනෙක් විය. කැළණිය – මහතිස (කැළණිතිස්ස) පනිත රජුගෙන් පැවතෙන්නාසේම, මාගම කාවන්තිස්සද එම ප්‍රාදේශිය පාලකයන්ගෙන් පැවතෙන්නන් විය හැක. . විජයාගමනයට පසුව දුටුගැමුණු සමය වනතෙක් මහාවංශයෙන්ද ලක්දිව රුහුණ ගැන වැඩි විස්තරයක් සැල නොවීම තුලින් මේ පිළිබඳ පැහැදිලි නිගමනයකට පැමිණීම අසීරු වී ඇත.

වසර ගණනාවක් පුරාවට සොළී පාලනය යටතේ වූ අනුරාධපුරය ඉන් මුදවා ගැනීමේ මෙහෙයුම අරඹන්නේ සැබැවින්ම කාවන්තිස්ස රජුයි. ඒ වනවිට තරමක් විරසකව සිටි සිව් මහා ගෝත්‍ර එක අරමුණක් කරා ඒකරාශී කරන්නට ගත් වෑයමේ ප්‍රථම පියවර ලෙස නාග ගෝත්‍රික විහාරමහ දේවිය විවාහ කරගත්තා විය හැක. එමෙන්ම කාවන්තිස්ස රජුගේ නැගණිය සෝමාදේවිය විවාහ වන්නේද යක්ෂ ගෝත්‍රික ගිරි අභය සමඟයි. මීලඟට ඔහු කලේ සේනා සංවිධානයයි. වේළු සුමන, සුරනිමල ආදී යෝධයන් රැස්වුණේ ගැමුණු කුමරු වෙත නොව කාවන්තිස්ස රජු වෙතයි. ගැමුණු කුමරු එළාරට විරුද්ධව සටනට සැරසෙන කල ඔහු කොත්මලයට පලාගිය බව වංශකතා කරුවා කියයි. එහෙත් එකල කොත්මලය යක් විමානයකි. යක්ශ ගෝත්‍රිකයන් විසූ කොත්මලයටම ගැමුණු කුමරු ගියේ ඇයි? කාවන්තිස්ස රජුම කුමරු එහි යැව්වා විය නොහැකිද? අනාගතයේ එළැඹෙන යුද්ධයට යක්ශ ගෝත්‍රිකයන්ගේද සහය ලබාගැනීම මෙහි ප්‍රධාන අරමුණ වන්නට ඇත. දුටුගැමුණු කුමරු වයස අවුරුදු දහසයේ සිට විසි අට දක්වා වසර දොළහක් ගතකරන්නේ කොත්මලයෙයි (කොත්මලේ පුරාවෘත, කෙහෙල්ගමුවේ 42).

එළාර පරදවා ලක්දිව එක්සේසත් කරන ගැමුණු කුමරු මහාවංශයේ වීරයාය. හෙළයේ හැම බොදු දරුවෙකුගේම වීරයාය. එහෙත් ඔහුව වීරයෙක් කරන්නට ඔහු වටා යෝධ පවුරක්ව දිරිය සැපයූ අනෙකුත් චරිත ගැන අවශ්‍ය පමණට ඉතිහාසයේ සදහන් නොවීම කණගාටුවට කරුණකි. ගැමුණු රජුගේ බිසව වූයේ රන්මැණිකා නම් කොත්මලේ යක්ශ ගෝත්‍රික තරුණියකි. ගැමුණු රජුගේ පුත් සාලියද අශෝකමාලා නම් තරුණියකට පෙම්බැඳ ඔහුට රජකම පවා අහිමි වූ බව පැවසේ. එනමුදු අප එය දකින්නේ වෙනස් කෝණයකිනි. එනම්, දුටුගැමුණු රජුගෙන් පසු රාජ්‍ය පාලනයට සුදුසුම පුද්ගලයා සාලිය කුමරුට වඩා තිස්ස කුමරු වන්නට ඇත. වයසින් මෙන්ම රාජ්‍ය පාලනයේ අත්දැකීම් වලින්ද තිස්ස කුමරු පරිණත විය. ඒ හේතුවෙන් ගැමුණු රජුගෙන් අනතුරුව සද්ධාතිස්ස රජවිය. එම තේරීම වැරදි නැති බව ඔප්පු වන්නේ දුටුගැමුණු අභාවයත් සමඟම සොළීන් නැවතත් ලක්දිව ආක්‍රමණය කරන්නට ගොස් (නල මුක්කර ආක්‍රමණය) සද්ධා තිස්ස රජුගේ සේනාව අතින් අන්ත පරාජයකට පත්වීම නිසයි (මෙම කරුණු හා ආක්‍රමණ ප්‍රසිද්ධ ඉතිහාසයේ සඳහන් නොවීම කණගාටුවට කරුණකි). එමෙන්ම සාලිය කුමරු හා විවාපත් අශෝකමාලාද අසුර ගෝත්‍රයකට අයත් බවට තොරතුරු ජනවහරේ එයි. සාලිය කුමරු ලක්දිව විල්පත්තු ආශ්‍රිත ප්‍රදේශය පාලනය කල බව සදහන් වන අතර සාලිය කුමරුගේ මාලිගයේ නටඹුන් අදටත් විල්පත්තු වනෝද්‍යානයේදී දක්නට ලැබේ.

ගෞතම බුදුන්ට සමකාලීන සුමන රජුට, පරම්පරා 4කට පසුව ඉපදෙන ගාමිණී අහය කුමරු වංශකතාව අනුව මහින්දාගමනයටත් පරම්පරා කිහිපයක ඇවෑමෙන් ඉතිහාසයට එක් වේ. මෙයද ගැටළුවට තුඩු දෙන කරුණකි. ආචාර්‍ය් සූරිය ගුණසේකරයන් පවසන පරිදි සම්බුද්ධ පරිණිර්වාණය සිදුවන විට ගැමුණු කුමරු සිය ළමා කාලයේ පසු වූවා විය හැක. එමෙන්ම ගාමිණී අභය ගැන අපට සෙල්ලිපි හමුවන්නේ බුද්ධ වර්ශ 30-50 අතර කාලයේය. එහෙත් මහින්දාගමනයම බුද්ධ වර්ශ 236 දී සිදුවූ බව වංශකතාව කියයි. එසේනම් අප කතා නායකයා මහින්දාගමනයට පෙර ලක්දිව විසුවෙක්ද?

ගැමුණු කුමරු මහාවිහාරයට අගනා මෙහෙවරක් ඉටු කලද කුමරුට සංඝානුශාසනා අවශ්‍ය විටෙක රහතන් වහන්සේලා වඩින්නේ පුවඟු(යාපනය) දිවයිනෙන්ය (සටනින් මියගිය මිනිසුන් ගැන සිතා තැවෙන මහරජු සැනසීමට පුවඟු දිවයිනෙන් භික්ශුන් වහන්සේලා පැමිණීම). ඒ අතරම දුටුගැමුණූ සමය වනවිටත් ථූපාරාම දාගැබ, ශ්‍රී මහා බෝධිය මහමෙව්නාවේ තිබුණි, එනමුදු බුදු දහම වෙනුවෙන්ම කැපවුණු මහරජු එම ස්ථානවල පූජා පැවැත්වීමක් ගැන හෝ සදහන් නොවේ. මේ ගැන සැකයක් පළමුවෙන්ම ඇතිවන්නේ සොළොස්මස්ථාන වන්දනා ගථා නිසයි. මහියංගනං, නාගදීපං, කල්‍යාණං, පදලාංඡනං, දිවාගුහං ….. බැලූ බැල්මට ගාථාව ලියවෙන්නේ බුදුන් වහන්සේ වැඩි පිළිවෙළටයි. එහෙත් (සොණ්ණමාලී මහා චේතිං, ථූපාරාම, භයාගිරිං) ථූපාරාමය සඳහන් වන්නේ මිරිසවැටිය හා රුවන්මැලි සෑයට පසුවයි. (හෙළ යුගය, ගුණසේකර 122). මින් පෙනී යන්නේ ථූපාරාමය පසුකළෙක ගොඩනැඟුනු බව හා දුටුගැමුණු රජු මහින්දාගමනයට බොහෝ පෙර විසූ බව නොවේද? මහින්දාගමනයට පෙර ලක්දිව බුදු සසුන ප්‍රචලිතව තිබුණු බව ඇසීමෙන් අපි තවදුරටත් පුදුම නොවෙමු. මන්ද යත් බුදුන් වහන්සේගේ ලංකාගමනයන්හිදීම ධර්මය ශ්‍රවණය කර සසුන්ගතවූ සිව් හෙළ ගෝත්‍රිකයන් විසූ බවට තොරතුරු සඳහන් මූලාශ්‍ර මේ වනවිට හමුවී ඇති බැවිණි. එම තොරතුරු පසුවට ලියැවෙන ලිපි වලින් කතා කරමු.

රට එක්සත් කල ගැමුණු රජු, තමාට යුද්ධයට උපකාර කල කතරගම දෙවියන්ට බාරයක් වෙයි. ඒ අනුව ඌව පලාත කතරගම මහසෙන් (කතරගම දෙවි) රජු නමට පවරා, ඔහු නමින් වැඩහිටි කන්දේ දේවාලය තනයි. අනතුරුව මහා සෑය තනවන රජු එය රුවන්මැලි සෑය ලෙස නම් කරයි. එම නම හැදුන ආකාරය ගැන විවිධ කතාන්දර අප සතුව ඇත. එහෙත් බුදුන් වහන්සේ වැඩි එම භූමියේ මහා සෑය කරවන රජු එයට රත්නමාලි යන නම තබන්නේ එම භූමියේ සිටි රුක් දෙවඟනක් නිසාමද? කතරගම දෙවියන් ලෙසින් හැඳින්වෙන කතරගම මහසෙන් නිරිඳුන්ගේ බිසවත් රත්නවල්ලි, ස්වර්ණමාලි යන නම් වලින් හැඳින්වුණාය. එමෙන්ම මහාසෑය තනවන්නට පෙර එම භූමියේ රත්නමාලියගේ දේවාලයක් වූ බවට තොරතුරු ඇත. දුටුගැමුණු රජු, මහසෙන් බිසව රත්නමාලියගේ දෙවොල වෙනුවට මහා සෑය කරවා ඊට ඇගේ නම තැබුවා විය හැක. ඒ අනුව ස්වර්ණමාලි දෙවඟනගේ කතාව සියයට සීයක්ම වැරදිත් නැත. රුවන්මැලි සෑයේ කටයුතු අවසානයට පෙර රජු කාලක්‍රියා කරයි. ඒ ගැනද ජනවහරේ එන කථාන්දර කිහිපයකි. එම කථාන්දර සියල්ලම විමසා බලන කල රජුගේ මරණයට නාග ගෝත්‍රිකයන් මුල්වුන බව පැහැදිලිය. එයට හේතුව, රජු විසින් නාගයින් සතුවූ බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව මිරිසවැටියේ නිධන් කිරීමට ලබාගැනීම බව කියන අතර තවත් ජන කතාවක කියැවෙන්නේ රජු පසු කලෙක නාග කුමරියක පාවාගැනීම ගැන විරුද්ධ වන නාග ගෝත්‍රිකයන් රජු මරන්නට කිහිපවිටක්ම තැත් කල බවයි.

මේ සියළු කරුණු, දුටුගැමුණු රජු සැබැවින්ම කවුද යන්න සොයා බැලීමට අපව තව තවත් පොළඹවයි. ඔහු බුදුන්ට සමකාලීනව හෝ ඒ ආසන්නයේ විසූ සිව් හෙළයේ රජ කෙනෙක් බව සනාථ කරන කරුණු රැසකි. එහෙත් ඒ සියල්ලම තුලින් පැන නගින ගැටළුව වන්නේ මහාවංශයේ මෙතරම් පටලැවිල්ලක් ඇතිවූයේ කෙසේද යන්නයි.

මහාවංශයේ එන සොළී ජාතික එළාර ආක්‍රමණිකයෙකි. ආක්‍රමණිකයෙකුට කිසි දිනක රටක කිරුළ හිමි රජෙක් වන්නට හෝ ඊට සමාන වන්නට නොහැක. එනමුදු වංසකතා කරුවාට ඔහු යුක්තිය ඉටු කල සාධාරණ රජ කෙනෙකි. ඒ බව ගෙනහැර දක්වන්නට ඔහු යොදාගන්නේ එළදෙනක් විසින් සිනුවක් ගැසූ කතාවත්, එළාරගේම පුතු යුක්තිය වෙනුවෙන් ඝාතනය කිරීමත්ය.  එසේනම් එළාර යනු මහාවිහාරයේ මල් ආසනවල පූජා කරන ලද මල් විසිකර, විහාර භූමියේ කැත කරන්නට මිනිසුන් යෙදවූ ධාර්මික යුක්ති සහගත පාලකයාය. දුටු ගැමුණු වනාහී සිය පියාව විරුද්ධව නැඟී සිට, ඔහුට ගැහැණු ඇඳුම් යවා අපහාස කල දුට්ඨ ගාමිණී නම් වීරයාය. වීරත්වයක් ආරෝපණය කරන අතරම ගැමුණු කුමරුගේ දුෂ්ඨ බවත්, එළාර ගේ යුක්තිගරුක බවත් අප සිත් තුල තැන්පත් කරන්නට රචකයා සමත් වී ඇත. රටක ඉතිහසයක් ලිවිය යුත්තේ එම රටේ මුල සිටම පැවතෙන පදිංචිකරුවන්ය, එය ඔවුන්ගේ කතාවයි, ඔවුන්ගේ පරපුරයි, ඔවුන්ගේ ඉතිහාසයයි. එහෙත් මහාවංශය රචනා කල මහානාම හිමියන් කාලිංග වංශික පිටරැටියෙකි. එළාරද කාලිංඝයෙන් පැමිණි ආක්‍රමණිකයෙකි. එපමණක් නොව, ලක්වැසියන්ගේ අනුබුදු ලෙස සැලකෙන මිහිඳු මහ රහතන් වහන්සේද කාලිංඝ වංශිකයෙකි. ඒ අනුව දුටුගැමුණු චරිතය රචනයේදී වංසකතාකරුවා අතින් සිදුව ඇති පටලැවිල්ල අහඹුවක් ලෙස සැලකිය නොහැක.

මේ අල්ල පනල්ලේ එළාර යක්ශ ගෝත්‍රිකයෙක් බව ඇතැමෙක් පවසන්නේ මහවැළි ගඟ දිගට එළාරගේ බලකොටු 32ක් ගැමුණු රජු විසින් විනාශ කිරීම මුල් කරගෙනයි. බලකොටු 32ක් තනන්නට තරම් ජන බලයක් සුලු කාලයක් තුල ආක්‍රමණිකයෙකුට නොලැබීම හා මහවැලි ගඟ අසල ජනාවාස වීම හේතුවෙන් ඔවුන් යකුන් වියහැකි බවට නිගමනයන්ට පැමිණේ. අපේ නිගමනය නම් බලකොටු වල කටයුතු කල සොළීන් හෝ කුලී හේවායන් කෙසේ වෙතත් එළාර යකෙක් නොවන බවයි. එමෙන්ම බලකොටු යකුන්ට අයත් නොවන බවයි. යකුන්ගෙන් පැවතෙන්නන් එහි සේවය කිරීම එම වකවානුව අනුව විය හැක. පුරාණයේ පටන්ම ලොවක් මවිත කල වාරි තාක්ශණයක් හිමි හෙළය වැව් දියෙන් කුඹුරු කරද්දී ගංගා දිගට ජනාවාස තැනීමේ විශේෂ අවශ්‍යතාවක් නොවීය. එමෙන්ම එදා එළාර විසින් සිය ජනතාවට මහාවිහාරයේ කැත කරන්නට දුන් අණම පසුකළෙක බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව අවිහිංසාවාදී මහත්මා ගාන්ධි තුමා විසින් සිය අනුගාමිකයන්ට දීම තුළින් එය ඉන්දියානුවන්ටම ආවේණික දෙයකියි සිතමි. එබැවින් එළාර නම් සොළී ආක්‍රමණිකයා යක්ශ ගෝත්‍රයට ඈඳා ගැනීම නුසුදුසු බවක් හැඟේ.

මෙහිදී අප හුවා දක්වන්නට උත්සහ කරන්නේ වංශකතාවේ අඩුලුහුඬු කම් හරහා එය බොරුවක් බව නොව. හෙළ ඉතිහාසයේ ස්වර්ණමය යුගයන් විචිත්‍රවත්ව ලියැවුණ මහාවංශය තරම්, දීර්ඝ කාලීන ඉතිහාසයක් කැටිකරගත් කෘතියක් හිමි ලොව වෙනත් ජාතියක් ගැන මගේ මතකයට නොපැමිණේ. එය එතරම්ම අනර්ඝය. එහෙත් ඉතිහාසයේ එන අපට වැදගත් චරිත ගැන ගැඹුරින් හදාරන්න නම් වංශකතාවෙන් ඔබ්බට ගොස් විවිධ මූලාශ්‍ර හා ගැටෙන්නට සිදුවෙයි. එහිදී අපට දැනගන්නට ලැබෙන දෑ මෙතෙක් කල් අප දැරූ සියළු මත, අදහස් වෙනස් කරන්නට සමත් වෙනු ඇත. වියයුත්තේද එයම යැයි අපි විශ්වාස කරමු. අද අප විසින් කියනා ඉතිහාස කරුණු හෙට දිනයේ සිදුවන නව සොයාගැනීම් සමඟ සම්පූර්ණයෙන්ම වෙනස් වන්නට ඉඩ ඇත. මෙතෙක් දුරට එක්රැස් කරන ලද කරුණු ඔස්සේ අප අතින් ලියැවුණ ගැමුණු අබා හෙවත් දුටුගැමුණු චරිතය දෙස නැවත වරක් බලන කල පෙනී යන්නේ ඔහු රාක්ෂ (හෝ යක්ෂ), නාග සම්භවයකින් පැවතෙන පාලකයෙකු වන අතර අපි ඔහු ගැන දන්න දේට වඩා තවත් සොයා දැනගන්නට තිබෙන දෑ බොහෝ බවයි.





1 comment:

  1. ඔබ දන්නවාද?
    * මහාවංශය ලියූ මහානාම හිමි ඉන්දියාවේ උපන්නෙකු බව.
    * මහාවංශය තුලම එකිනෙකට පරස්පර අදහස් බොහොමයක් ඇතිබව.
    * විජය නැමති පුද්ගලයාට දරුවන් නොසිටි බව (කුවෙනිට පමණක් ඔහුගෙන් දරුවන් දෙදෙනෙකු සිටි බව සඳහන්).
    * ශ්‍රී ලංකාව තුල ඇති සෙල්ලිපි සංඛ්‍යාවෙන් හැටෙන් එකක්වත් අප මෙන් හැටගුණයකටත් වඩා විශාල ඉන්දියාව තුල නොමැති බව.
    *මිහිදු හිමි ලංකාවට පැමිණීමට වසර දහස් ගණනකට පෙර මෙහි වී වගාව පැවති බව.
    *මහාචාර්ය සෙනරත් පරණවිතරණයන් බොහෝ සෙල්ලිපි වැරදියට කියවා අර්ථ නිරූපණය කර ඇතිබව.
    * බුදුන් වහන්සේහා සම්බන්ධ බොහොමයක් ස්ථාන ලංකාව තුල පිහිටා ඇති බව.
    * මහාවංශය ලිවීමේදී හිතාමතාම ප්‍රාග් විජය යුගය මගහැර ඇතිබව.
    *මිහිදු ආගමණයට පෙර ලංකාවේ බුදුදහම පැවතිබව......


    සත්‍යය ඉතිහාසය, ධර්මතාවයෙන්ම බොහෝ කොටසක් යට වෙලා. අපි අද බුදු දහම කියලා මොනවද මේ අදහන්නෙ?. බුදු පියාණන් කොතනද කියල තියෙන්නෙ පිළිම වලට වඳින්න, දෙවියන්ට වඳින්න, පන්සල් වල දේවාල දාගෙන හම්බු කරන්න, හාමුදුරු වරුන්ට සාස්තර කියන්න වශීගුරුකන් කරන්න කියලා.
    අපි අද බුද්ධ ධර්මය කියලා ඉන්දියාවෙන් ආගමක් බවට පත්කරලා ආපහු එවපු “බුද්දාගම” අදහනව, ඉතිහාසය කියලා ජොර්ජ් ටර්නර්, ජේමිස් ප්‍රින්සස්,ස්ට්‍රෝන්ග්,රීස​් ඩේවිඩ්,එච්.සී.පී. බෙල්, කොඩ්‍රින්ටන් ල වගෙ අන්‍ය ආගමිකයො, විදේශිකයො (ඔවුන් ලැබූ අල්ප දැනුම අනුව, ලංකා ඉතිහාසය ලියා අටවා, අමුණා නිර්මාණය කර අපට බාර දී )ලියල දුන්න දේවල් ඉගෙන ගන්නවා. මහානාම හිමි ලියපු මහාවංශය බදාගෙන දරුවො හිටපු නැති විජය අපේ මී මුත්ත නැත්තම් කිරිකිත්තා කියලා හිතාගෙන ඉන්නව.
    ඒකෙන් ප්‍රයොජන ගන්නෙ පැත්තක ඉන්න ත්‍රස්තවාදීන්. දැනටමත් උන්ගෙ මහාචාර්යවරු ඉතිහාස්ඥයො ඉතිහාස පොත් ලියල ලෝකෙ වටේ බෙදාගෙන යනව රාවන ඇතුලු යක් ගෝත්‍රිකයො උන්ය කියලා. මේ රට උන්ටලු අයිති. විජයගෙන් පැවත එන සින්හලයො රට මංකොල්ල කෑවලු.
    ඔන්න ඔය හින්දා තමයි අපි නිවරදි ඉතිහාසය හොයන්න ඔනේ. අපි ලෝකයට පෙන්නන්න ඕනෙ අපි මංකොල්ල කාරයගෙන් පැවත එන්නෙ නැතිබව. අපිට ඊට හුඟාක් ඉස්සර ඉඳලා දියුණු ශිෂ්ඨචාරයක් තිබුන බව. සුද්දා වැද්දා කාලෙ අපි හෝර්ටන්තැන්නෙ වී වගා කරපු බව.
    නැත්තම් අපිට රටක්, ධර්මයක්, ජාතියක් ඉතිරිවෙන්නෙ නැහැ.... වැට මායිම අගල් භාගයක් එහාට මෙහා වෙච්ච ගමන් කඩු පාරවල් ගහල, වෙඩිතියල, ඇසිඩ් ගහල මරාගන්න අපේ එවුන්ට… මෙච්චර අති පූජනීය ඉතිහාසයක් තමන්ගෙ කර ගන්න තියා ඒ ගැන හිතන්නවත් කිසිම උවමනාවක් නැහැ....

    ReplyDelete